944 පත්කරන ලද සිංහල භාෂා කොමිසම මඟින් වැදගත් හෙළිදරවුවක් වාර්තා විය. එනම් ලංකාවේ භාෂා දෙකකින් වැඩ කළ හැකි ප‍්‍රජාව ජනගහනයෙන් 1.4% ක් පමණ වන බවයි. සිංහල, ඉංගී‍්‍රසි හා දෙමළ ඉංගී‍්‍රසි මීට අයත් විය. එසේ නම් ජනගහනයෙන් 96%ක්ම ස්වදේශික සිංහල කතා කරන පසුගාමී ප‍්‍රජාවකි. එහෙත් එදා පැවැති රාජ්‍ය භාෂාව ඉංගී‍්‍රසිය. මෙම ඉංගී‍්‍රසි පාලනය යටතේ ලිපිකරුවකු වීමත්, භාෂා දෙකක් (සිංහල ඉංගී‍්‍රසි හා දෙමළ ඉංගී‍්‍රසි) කතා කිරීමට හැකිවීමත් විශේෂ වරප‍්‍රසාදයකි.

මේ යුගයේ සිංහල පමණක් කතා කළ අයගේ ඉහළම අධ්‍යාපන මට්ටම ලෙසින් සාමාන්‍යයෙන් සැලකුණේ අටවැනි පන්තිය සමත් වීමයි. ඔවුනට රජයේ රැකියාවක් ලෙසින් යාමට හැකිවූයේ රු. 30/- ක පමණ වැටුපකට, උපගුරු තනතුරකට පමණි.

මේ සමීකරණය තුළ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රභූන් අයත් වූයේ ඉංගී‍්‍රසි කතා කරන පන්තියටයි. ලංකා ජාතික සංගමය තුළ ගොනු වී සිටියේ එම ප‍්‍රජාවයි. නමසිය තිස් ගණන්වල සිංහල කතා කරන නිර්භු පන්තිය ගොනු වූයේ සිංහල මහා සභාව වටාය.

එහි නායකත්වය ගනු ලැබුවේ සියනෑ කෝරලයේ ප‍්‍රභූ පෙළපතකින් පැවත එන එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකයන්ය. මේ නිසා ජාතික නිදහස් සටනේ නිර්ප‍්‍රභූන්ගේ වේදිකාව බවට පත්වන්නේ සිංහල මහා සභාවයි.

නිදහස් අරගලයේදී ”සිංහල මහා සභාව” ද ජාතික සංගමය තුළ රඳවා ගැනීමට ඞී.ඇස්. සේනානායකයන් සමත් විය. එහෙත් එම පිරිසේ අනන්‍යතාව ජාතික සංගමයේ දේශපාලනය තුළ දියකර නොහැරීමේ වගකීම බණ්ඩාරනායකයන් බාරගෙන තිබුණි.

1948 දී ශී‍්‍ර ලංකාවට නිදහස ලබා ගැනීම ජාතික සංගමයේ ප‍්‍රධානත්වයෙන් සියලූ ජන කොටස්වල සහභාගිත්වයෙන් සිදු විය. එහෙත් සුද්දන්ගෙන් බලය මාරු වූයේ ඉංගී‍්‍රසි කතා කරත ප‍්‍රභූ පන්තිය  අතටය. ශී‍්‍ර ලංකාව නිදහස ලබන විට එක්සත් ජාතික පක්ෂය බිහි වී තිබුණි. එහි ගර්භාෂය ලෙසින් සැලකෙන්නේ ලංකා ජාතික සංගමයයි. සිංහල මහා සභාවේ නායකයා වූ එස්.ඩබ්ලිව්. ආර්.ඞී. එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයකු ලෙසින් පත්වුණි. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ නිර්ප‍්‍රභූන්ගේ ප‍්‍රශ්නයට, දේශීය චින්තනයට හෝ දේශීය වටිනාකම්වලට සාධාරණ තැනක් ලබාදීමට අගමැති ඞී.ඇස්. සේනානායකයන්ට හා බණ්ඩාරනායකයන්ට නොහැකි විය. ඞී.එස්. බෙහෙවින්ම තම කාලය මිඩංගු කළේ ගොවිජනපද ව්‍යාපාරය ශක්තිමත් කරමින් මේ රටේ කෘෂි ක්‍ෂේත‍්‍රය නඟාසිටුවීමට බව පෙනේ. මේ අතර නිර්ප‍්‍රභූන් හා බණ්ඩාරනායකයන් කොන් කිරීමේ සංස්කෘතියක් එම ආණ්ඩුව තුළ පැවැතිණ.

වරක් ඩී.එස්. වෙනුවට එක් දේශනයකට ඞී.එස්. විසින්ම නම් කරණු ලැබුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. ය. ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ සර් උක්වත්ත ජයසුන්දර සඳහන් කළේ යැයි වාර්තා වූයේ. තමා අකැමැතිම පුද්ගලයා බණ්ඩාරනායක බවයි.”

මේ යුගයේ රටේ බහුතරයක් මෙන්ම, සිංහල බෞද්ධ අති බහුතරයක් නියෝජනය කළ සිංහල මහා සභාව තුළ ගොනු වූ නිර්ප‍්‍රභූන් රටේ පාලන තන්ත‍්‍රය ඇතුළු සෑම කේෂ්ත‍්‍රයකම කොන්වීම නතර කර ගැනීමේ ක‍්‍රමවේදයකට යෑමට එක්සත් ජාතික පක්ෂය අසමත් වුණි.

එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකයන් එ.ජා.ප. ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහිවන්නේ මෙවන් පසුබිමකය. මෙහිදී සිදුවන පාර්ලිමේන්තුවේ පැති මාරුවීමේ ඓතිහාසික මොහොතේ බණ්ඩාරනායකයන් පිටුපසින් පැමිණෙන්නේ රුහුණු ගිරුවාපත්තුව නියෝජනය කළ ඩී.ඒ. රාජපක්ෂයන්ය. මේ මොහොත වන විට එ.ජා.ප. ට විකල්ප වූ අමු වමේ නොවන ස්වදේශිකවාදී දේශපාලන බලවේගයක අවශ්‍යතාව රට තුළ සෑම ක්‍ෂෙත‍්‍රයකම විලිලමින් පැවතිණ. පැරණි සිංහල මහා සභාවේ සංයුතිය ඊට සූදානමින් පැවතිණ. මේ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තවත් එක් පක්ෂයක් නොවුණි.

ජාත්‍යන්තර විප්ලවයක් ගැන එතරම් නොතේරෙන භාෂාවකින් කතා කළ ස්වදේශිකව කල්පනා නොකළ පැරණි වමට මෙම අවස්ථාව ගිලිහුණි. එදා සමහර ගැමියන් ප‍්‍රශ්න කළේ ”ඔය බොල්ෂේවික් ලෙනින් කොයි පළාතේ කෙනෙක්ද?’’ කියලාය. ‘‘මාතර පිට බැද්දර පැත්තේ කෙනෙක් නම් වෙන්න බැහැ’’ කියලත් සමහරු කීහ. වමේ සමහර නම් ගම් ගැමියන් අවඥාවට ලක් කළේ මේ අයුරිනි.

එවැනි ස්වදේශිකවාදී රික්තයක් පාවිච්චි කරමින් මැද මාවතේ දේශපාලනය ප‍්‍රතිපත්තියක් කරගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතා ශීඝ‍්‍රයෙන් රට පුරා ව්‍යාප්ත විය. යූ.ඇන්.පී.යට විරුද්ධ විකල්ප දේශපාලන ධාරාවක් ලෙසින් එය ජනතාව වැළඳ ගනු ලැබුවේය. ශී‍්‍ර ල.නි.ප.ය බිහි වී වසර 5ක් ඇතුළත 1956 දී එම පක්‍ෂයේ දායකත්වයෙන් රජයක් බිහි වී බල පෙරළියක් සිදු වීමෙන්ම එවැන්නකට පැවැති ඉල්ලූම පැහැදිලි වේ. මහා ගත්කරු මාටින් වික‍්‍රමසිංහ 56 පෙරළිය හැඳින්වුණේ බමුණුකුලයේ බිඳවැටීම ලෙසිනි. එහෙත් යූ.ඇන්.පී.ය මුළුමනින්ම විජාතික වූවා යැයි මින් අදහස් නොවේ. එහෙත් යූ.ඇන්.පී. කෝව සැකසී තිබුණේ සේනානායකවරුන්ගේ ස්වදේශික චින්තනයට ද පටහැණිව බව මධ්‍යස්ථව කල්පනා කර බලන විට පෙනේ.

මේ වනවිට කාලයාගේ ඇවෑමෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ආරම්භක දේශපාලනය වෙනස්කම් රැසකට භාජන වෙමින් පවතී. ලෝක දේශපාලන බල කඳවුරු ගෝලීය ආර්ථික වෙනස්කම් ඊට හේතු වී තිබේ.

සියල්ල රජය සතුවිය යුතුය යන ජනසතු පිළිවෙත අදට වලංගු නොවේ. එය න්‍යායිකව බලන කල සමාජවාදී ද නොවේ. ඊට ඇත්තේ රාජ්‍ය ධනවාදී හැඩරුවකි. එහෙත් තුන්වැනි ලෝකයේ සංවර්ධනය වන්නා වූ රටක් ලෙසින් අපට සළු පිළි උනා දැමුවාසේ විවෘත වූ සියල්ල පෞද්ගලික අංශය සතු වූ ආර්ථික පිළිවෙතකට යා නොහැකිය. ආණ්ඩුවේ ප‍්‍රාග්ධනය ද රාජ්‍ය මැදිහත් වීම ද ආර්ථිකයේ මර්මස්ථානවලට අත්‍යවශ්‍යය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට 60-70 ආර්ථික පිළිවෙත් කරගසා ගන්න යැයිි යමෙක් සඳහන් කරන්නේ නම් එය යථාර්ථවාදී නොවේ. එම පක්ෂය 66 වැනි සමරුමට ළං වී ඇති වර්තමානයේ එවන් යෝජනාවල වටිනාකමක් නැත.

එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක් බිහිවීමට බෙහෙවින්ම හේතු වූ නිර්ප‍්‍රභූ පන්තියේ අවශ්‍යතා හා අපේක්ෂා තවමත් සම්පූර්ණයෙන්ම ඉටු වී නොමැත. ඉංගී‍්‍රසි නොදත් හා ග‍්‍රාමීය සවදේශිකවාදී ජනතාව අතර එම ඉඩකඩ නොනැසී පවතී. 1971-1989 දකුණේ කැරලි දෙකටම මෙන්ම උතුරේ සිවිල් යුද්ධයට ද මේ හේතු සාධක බලපෑ බව රහසක් නොවේ. මේ නිසා ශී‍්‍ර ල.නි.ප. 66 වැනි සංවත්සර සමුළුව පවත්වන්නේ එම පක්ෂය ආරම්භ කළ පැරණි වුවමනාවන් එදා තරමින් නොවුනද යම් තරමකට හෝ නොනැසී පවතින වකවානුවකය.

ශී‍්‍ර ල.නි.ප.ය අරඹමින් මේ රටේ නිර්ප‍්‍රභූ හා වරප‍්‍රසාද නොලත් පන්තියේ දේශපාලනයට නායකත්වය දුන් බණ්ඩාරනායකවරුන් වසර 50ක් එම පක්ෂයේ නායකත්වය ගෙන තිබූ බව රහසක් නොවේ. ඉන් ජනතාවට අවැඩක් වූයේ නැත. වරප‍්‍රසාද නොලත් පන්තිය ඉහළට ඔසවා තැබීමට බණ්ඩාරනායකවරුන්ගේ දායකත්වය නිබඳව ලැබී තිබිණි. එහෙත් එම බණ්ඩාරනායකවරු වුවද අයත් වූයේ ප‍්‍රභූ පන්තියටය.

2005 පසු මේ තත්ත්වය වෙනස් වුණි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්ප‍්‍රාප්තිය සමඟිනි. 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිට නියෝජනයක් සහිත රාජපක්‍ෂවරුන් අයත් වන්නේ ද රුහුණේ ගැමි සංස්කෘතික වටාපිටාවකටය. මේ නිසා ග‍්‍රාමීය පසුබිමක් සහිත ප‍්‍රභූ නායකත්වයක් ශී‍්‍ර ල.නි.ප.යට ලැබුණි. එය වඩ වඩාත් පක්ෂයේ අරමුණුවලට සමීප වීමකි. 2009 යුද ජයග‍්‍රහණයත් සමඟම ශී‍්‍ර ල.නි.ප.ය දැවැන්ත පක්ෂයක් බවට පත්කරමින් රටට දෙවැනි නිදහස අත්පත් කරදීමට මෙහිදී ශී‍්‍ර ල.නි.ප. නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය. මේ සමඟම සිදු වූ අනෙක් ප‍්‍රවණතාව සුළු ජන කොටස් එම පක්ෂයෙන් ඉවත් වීමය.

එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකයන් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ශී‍්‍ර ල.නි.ප.ය නිර්ප‍්‍රභූ සරල ගැමි නායකත්වයකට මාරුවීම ඇරඹුණේ 2015න් පසුවය. නැතිනම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සම්ප‍්‍රාප්තියත් සමඟය. මේ නිසා නිර්ප‍්‍රභූ පන්තියේම නායකයකු අතට ශී‍්‍ර ල.නි.ප.ය පත්වන්නේ එය බිහි වී වසර 64කට පසුවය. වැදගත් වන්නේ නායකයා නියෝජනය කරන පන්තිය ද ගෙනයන වැඩපිළිවෙළ ද යන්න විවාදාත්මකව මාතෘකාවකි. එහෙත් රටේ රාජ්‍ය බලයක් හිමිකර ගත හැකි දැවැන්තම පක්ෂයක් නිර්ප‍්‍රභූ පන්තියේ නායකයකු අතට පත්වීම අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. එ් නිසාම අභියෝග රැුසකට මුහුණ දීමට වත්මන් නායකයාට සිදු වී තිබේ. දේශපාලන වශයෙන් ගත් කල එය මෙතෙක් ශී‍්‍ර ල.නි.ප. නායකයකු මුහුණ නොදුන් තරමේ දැවැන්ත එ්වාය.

මේ සියලූ තත්ත්වයන් යටතේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනයට තවමත් හොඳ ඉල්ලූමක් ඇත. එය අද වුවද හැඳින්වෙන්නේ මැද මාවතේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණවලින් යුත් දේශපාලන වැඩපිළිවෙළක් ලෙසිනි. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයා පවා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සිද්ධාන්ත සිය වත්මන් පාලනයට මුසු කිරීමට සූදානම් බව පැවසීම වුවද ශී‍්‍ර ල.නි.ප. ය වර්තමානයේ ලබන ජයග‍්‍රහණයකි.

එහෙත් යම් අවශ්‍යතාවකට ජනතාවට වවුචර් බෙදීම නම් ”නව ලිබරල්ය.” පොහොර හෝ නිල ඇඳුම් ලබාදීම ”සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී”ය. පේ‍්‍රමදාස යුගයේ ජනසවි මල්ල ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙවලමකි. ආයෝජකයන් පැමිණ ව්‍යාපාර අරඹා එම ව්‍යාපාරවල ආර්ථික ප‍්‍රතිලාභ නිරායාසයෙන් සාමාන්‍ය ජනයාට හා අඩු ආදායම්ලාභීන් අතරට ගලා යනවා යැයි කල්පනා කිරීම ප‍්‍රායෝගික නොවේ. ඊට හේතුව ඔවුන් සියල්ල ලාභය පදනම් කරගෙන කටයුතු කිරීමය. ඒ නිසා රටක ආර්ථිකය මෙහෙයවීමට හා සංවර්ධනයට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යය. ආර්ථිකයේ මර්මස්ථාන තවදුරටත් කාර්යක්ෂම වට්ටෝරුවක් යටතේ රජය සතු විය යුතුය. නිර්ප‍්‍රභූ සාමාන්‍ය ජනයා බලගතු වන්නේ එවිටය.

ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශී‍්‍ර ල.නි.ප. රජයන් යටතේ බිහිවූයේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් උදෙසාය. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාව වැනි රටවල  පෞද්ගලික අංශය ජනතාවට සහන ලැබෙන සහන සේවා ව්‍යාපෘතිවලට අත ගසන්නේ නැත. ඊට හේතුව එ්වායේ පදනම ලාභ ලැබීම වන නිසාය. මේ සියලූ තත්ත්වයන් යටතේ වුවද අවසානයේ ආර්ථික අවපාතයකදී පෞද්ගලික අංශයේ කඩා වැටීමකදී වුවද මැදිහත් වීමට සිදුවන්නේ රජයටයි. පසුගිය ආර්ථික අවපාතයේ දී ඇමරිකාවේ ”ෆෝඞ් කාර් කම්හල” බංකොළොත් බාවයෙන් මුදවා ගනු ලැබුවේ ඔබාමා පාලනයේ මැදිහත් වීමෙනි. ලංකාවේ සෙලාන් බැංකුව බේරා ගැනීමට සිදු වූයේ ද රජයටයි.

මේ නිසා රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය හා පෞද්ගලික හවුල්  ව්‍යාපාර ආදී ක්‍ෂේත‍්‍ර තුනක කටයුතු කිරීමට වර්තමානයේ රාජ්‍යයකට සිදුවේ. එසේම නිර්ප‍්‍රභූ පන්තිය ඔසවා තැබීමේ නොනිමි මෙහෙවර හා ජාතීන් අතර සහජීවනය අභියෝගයක් ලෙසින් තවමත් අප රට ඉදිරියේ ඇත. වසර 66 ඇවෑමෙන් වුවද ඊට මුහුණදීමේ ශක්තියක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට ඇත. එ් සඳහා ශී‍්‍ර ල.නි.ප. වත්මන් නායකයාට හැකියාවක් ඇත. ශී‍්‍ර ල.නි.ප.යේ මැදමාවතේ දේශපාලන මුහුණුවර එදාටත් වඩා අදට ගැළපෙන බව මේ සියල්ල තුළින් ඉස්මතු වන සත්‍යයයි.

ලංකාදීප – වසන්තප්‍රිය රාමනායක

 

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තමා විසින් ඉකුත්දා පත් කරන ලද ජාතික ආර්ථික සභාව ලබන 12 වනදා පළමු වරට රැස්වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව එකඟතාව පළ කර තිබෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. මඩකලපුව, කරඩියනාරු කෘෂිකර්ම සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මෙරට ජනතාවට අවශ්‍ය ආහාර මෙරට තුළදීම නිෂ්පාදනය කර ගැනීම වඩා යහපත් බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ඔක්තෝබර් මාසයේ පළමු සතිය ජාතික ගොවි සතියක් බවට ප‍්‍රකාශයට පත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

සියලූ සංවර්ධන වැඩසටහන්වල දී රජය ප‍්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට බවද ජනාධිපතිවරයා කියා සිටියා.