මේ වසරේ ඇතිවූ නියඟය, ජල ගැල්ම ආදිය හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් ඇතිවේ යැයි බියක් මතුව තිබුණද, ආර්ථික වර්ධන වේගයේ අඩුවීමක් නොමැති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ, මහබැංකු සංකීර්ණයේ පිහිටි John Exter ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) දින විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ මේ වසරේ ඇතිවූ නියඟය, ජල ගැල්ම ආදිය හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් ඇතිවේ යැයි බියක් මතුව තිබුණා. ඒවගේම ආර්ථික වර්ධන වේගය අවප්‍රමාණ වේයැයි ද බියක් මතුව තිබුණා. නමුත් ආර්ථික වර්ධන වේගයේ අඩුවීමක් නොමැති බව දැන් පැවසිය හැකියි.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පහසුකම් සපයන වැඩසටහන යටතේ “ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සමස්ථයක් ලෙස සතුටුදායක යැයි ද, දැඩි කාලගුණික විපර්යාසයන් හා ගෝලීය වෙළෙඳ පොලේ විචල්‍යතා තිබියදීත් සර්ව ආර්ථික හා මූල්‍යමය තත්වය ස්ථාවරව පවතියි” ලෙස ද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජුනි මස ප්‍රකාශනයේ සදහන් වෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත්, මහබැංකුවත්, භාණ්ඩාගාරයත්, මුදල් අමාත්‍යාංශයත් මෙම කරුණු සනාථ කරනවා. ජල ගැල්ම නියඟය ආදී ගැටළු සදහා අප මුහුණ නොදුන්නා නම් ආර්ථික වර්ධන වේගය තවත් වැඩිවීමට ඉඩ තිබුණා. නමුත් එම ගැටළු සඳහා මුහුණ දී තිබියදීත් අපගේ මූලික ආර්ථික වර්ධන වේගයේ ආඩාල වීමක් සිදුවුනේ නැහැ. ගිය වසරට හා සමානවම හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් මෙම වසරේ ආර්ථික වර්ධන වේගය රදා පවතී යැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 501.5 මුදලේ දෙවන කොටස වන රුපියල් මිලියන 167.1ක් මුදා හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. අපගේ මුල්‍ය කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන නිසා ඔවුන් එම මුදල ශ්‍රී ලංකාවට ලබා දෙනවා.
අයවැය හිඟය අඩුකිරීම, විදේශ විනිමය සංචිත ඉහල නැංවීම, සරල බදු ක්‍රම හඳුන්වාදීම ආදී ක්‍රමවේද ඔස්සේ සර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට සහ වර්ධන වේගය ඉහල නැංවීමට අප ගෙන යන ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැලකිල්ලට ගනු ලැබුවා.  රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය පියවර ගණනාවක් මේ වන විට අප අනුගමනය කරනවා. අද අපට අවශ්‍යව ඇත්තේ සංවර්ධන ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථික වර්ධන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමයි. ආර්ථිකය වර්ධනය කිරීමේ කාර්යයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවයක් අපට නැහැ. රටේ ආර්ථිකය ක්‍රමානුකූලව 6% දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා.
අපේ සංවර්ධන උපාය මාර්ගයන්හි වෙළදාම, සෘජු විදේශ ආයෝජන, විදේශ විනිමය ආදිය වර්ධනය කිරීමට සහ පුද්ගලික අංශය තව තවත් දියුණු කරමින් ඔවුන් රටේ ආර්ථික සංවර්ධනයට වැඩි වශයෙන් දායක කරගනිමින් රජයේ ආදායම් වැඩිකර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට 2020 වන විට රටේ ආදායම් වියදම් පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% සීමා කරන්නට අපට හැකිවෙනවා. රටක් ලෙස අප දැන් ගමන් කරන්නේ විපර්යාසයකට ලක්වු මාර්ගයකයි. වැඩි පොළියට ණය ගනිමින් එම මුදල් හරහා යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවට දේශීය හා විදේශීය පුද්ගලික ආයෝජනයන් ලබා ගනිමින් රටේ කර්මාන්ත, සේවා, කෘෂිකර්මය දියුණු කර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමයි අප සිදු කරමින් සිටින්නේ.
ජීඑස්පී ප්ලස් බඳු සහනය ලබාගැනීමට අපට හැකියාව ලැබුණු බව මෙහිදි විශේෂයෙන් සදහන් කළ යුතුයි. ඒ අනුව ඇඟළුම් ක්ෂේත්‍රය පමණක් නොව නිෂ්පාදන භාණ්ඩ හයදහසක් යුරෝපා වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව ජීඑස්පී ප්ලස් බදු සහනය හරහා අපට ලැබී තිබෙනවා. නිෂ්පාදන හයදහසක් නොව නිෂ්පාදන සියයක්, එකසිය පනහක් පමණවත් යුරෝපීය වෙළෙඳ පොළට ඇතුළු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් මම අපේ පෞද්ගලික ව්‍යාපාරික අංශයට කියන්න කැමතියි. ඒවගේම ජීඑස්පී ප්ලස් බදු සහනය ලබන සියළුම රටවල් සදහා තීරු බදු සහිතව ගමනා ගමන ක්ෂේත්‍රයට අවශ්‍ය වන නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කළ හැකි බව ඔවුන් පවසා තිබෙනවා. සරලව පවසනවා නම් ගමනා ගමනයේදී භාවිත කරන ඇසුරුම් මලූ, පාවහන් ආදී නිෂ්පාදන ඔවුන්ට අපනයනය කිරීමේ හැකියාව දැන් අපට ලැබී තිබෙනවා. ඇඟළුම්, පාවහන් ආදිය සැලකෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොලේ  විශාලතම අපනයන භාණ්ඩ ලෙසයි.
ඒවගේම අප රටවල් ගණනාවක් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන්නේ මෙරටේ ආර්ථික වර්ධන වේගය තවත් වේගවත් කිරීම සදහායි. මෙය එක් වසරකින් හෝ දෙකකින් සිදු වන්නේ නැහැ. ඒ සඳහා වසර දහයක් පහළොවක් වැනි කාලයක් ගතවෙනවා. ඒවගේම අපගේ සියළුම ව්‍යාපාරයන් තරඟකාරී ව්‍යාපාරයන් බවට පත්කළ යුතුයි. කර්මාන්තශාලාවල ඇතැම් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොල ඉලක්ක කර නිෂ්පාදනය කළත් එය ජාත්‍යන්තර මිලට අනුව අලෙවි කළ යුතුයි. ඒ හරහා තරඟකාරී වෙළෙද පොලක් ඇතිකිරීමට හැකියාව ලැබෙනවා. සියලූ දෙනා තරඟකාරී, අපනයන වෙළෙඳ පොලට ඇතුලත් වීමට උත්සාහ දරනවා නම් මේ ණය උගුලෙන් බේරි රටක් ලෙස ඉදිරියට යාමේ හැකියාව අපට ලැබෙනවා.
සෘජු විදේශ ආයෝජන වැඩිකිරීමේ සැලසුම් යටතේ අප විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ නව වැඩසටහන් ගණනාවක් ආරම්භ කිරීමටයි. හම්බන්තොට වරාය පිළිබද ගිවිසුමට අප හෙට අත්සන් තබනවා. හම්බන්තොට වරාය පිළිබද ගිවිසුම අද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විපක්ෂයට අවශ්‍ය නම් ඒ පිළිබද විවාදයකට එළඹිමේ හැකියාව තිබුණා. නමුත් සාමාන්‍යයෙන් ඔවුන් සිදු කරන පරිදි එම අවස්ථාවේදී විශාල ශබ්ද සහ ඝෝෂා ඇති කරමින් ඔවුන් එම විවාදය අත්හැරියා. එදා ඔවුන් පැවසූ ක්‍රමවේදයට වඩා හොඳ ක්‍රමවේදයක් හරහා අප ඉදිරිපත් කර තිබෙන හම්බන්තොට දියුණු කිරීමේ වැඩපිළිවෙලට විරුද්ධ වන්නේ කෙසේදැයි ඔවුන්ට දැන් ගැටළුවක් ඇති.
මෙම ගිවිසුම හේතුවෙන් මෙම වසරේ සහ එළඹෙන වසර තුල ඩොලර් බිලියන 1.1 ක් අපට ලැබෙනවා. ඩොලර් බිලියන 1.1 ලැබුණු පසු විදේශ ණය ප්‍රමාණය අඩු කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා. ඒවගේම 2011 වසරේ සිට හම්බන්තොට වරාය හේතුවෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදු වුණා. එම අහිමි වූ බිලියන 46න් මිලියන දෙකහමාරක ජනගහනයට නොමිලේ සෞඛ්‍ය සේවාව සැපයීමේ හැකියාව තිබුණා. එම මුදල අධ්‍යාපන ක්ෂේත්‍රයට යෙදෙව්වා නම් අයවැයේදී අධ්‍යාපනයට ලබාදෙන මුදල 60% වැඩිකිරීමේ හැකියාව තිබුණා. හම්බන්තොටින් සිදුවූ පාඩුව එයයි.
මත්තල ගුවන්තොටුපල හේතුවෙන් තවමත් අප පාඩු ලබනවා. නමුත් මේ වසර අවසන් වන විට මත්තල ගුවන්තොටුපලත් ගිවිසුමක් හරහා හම්බන්තොට වරාය මෙන් දියුණු කිරීමට ක්‍රියාකරන බව මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. නමුත් සූරිය වැව ක්‍රිඩාංගනයට ගත් ණය සදහා නිකරුනේ මුදල් ගෙවීමට අපට සිදුවනවා. එය දියුණු කරන්නේ කෙසේදැයි සිතා ගැනීමටවත් අපට බැහැ. නමුත් අනෙක් සියලූ ව්‍යාපෘති දියුණු කිරීමට අප දැන් කටයුතු කරමින් සිටිනවා.
රටේ විශාල දියුණුවක් සදහා වන සංවර්ධන වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.  උඩරට ආර්ථික කලාපයේ වැඩකටයුතු මහනුවරින් ආරම්භ කර ඒ අවට ප්‍රදේශය දියුණු කරමින්, වයඹ සංවර්ධන සැලැස්ම, බස්නාහිර සංවර්ධන සහ මෙගා පොලිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින්, ගාල්ල, මාතර මුහුදබඩ තීරුව සංවර්ධනය කරමින්, සංචාරකයන් සදහා කලාපයක් වෙන් කරමින් මාතර සිට හම්බන්තොට, මොණරාගල දක්වා කර්මාන්තකරණයකට ලක්කරමින් රට දියුණු කිරීමේ වැඩ කටයුත්ත අප සිදු කරනවා.
ලංකාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීමට ද නියමිතයි. පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද , මල්වතු ඔය ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. එමෙන්ම ත්‍රිකුණාමල සංවර්ධන සැලැසුම සකස් කරමින් පවතිනවා. අද පස්වරුවේ මඩකලපුවේ කෘෂිකර්ම හා සංචාරක දියුණුව පිළිබද සාකච්ඡා කිරීමට මම ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙනවා. යාපනය ප්‍රදේශයේ දියුණුවට අවශ්‍ය වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විට අප අවසන් කරමින් තිබෙනවා. සබරගමුව, නුවරඑළිය, බදුල්ල මේ සියළු ප්‍රදේශ වෙත අවධානය යොමු කරමින් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.
ඒවගේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ  කෙටි කාලීන වැඩසටහන් ආරම්භ කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නවීකරණයක් ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි. මේ රටේ තරුණ තරුණියන්ට මීට වඩා  හොද ආර්ථිකයක් ඇතිකළ යුතුයි. හම්බන්තොට වරාය සම්බන්ධ නව ගිවිසුම යටතේ වරාය සංවර්ධන අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් එකට එක්ව කටයුතු කරනවා. එන වසරේදී තවත් ඩොලර් මිලියන 300ක් 400ක් අතර ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමටත් ඔවුන් සුදානම්. ඒවගේම හම්බන්තොට කර්මාන්තකරණය සදහා අවශ්‍ය නව ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබෙනවා. ඉන්දියාව සහ ජපානය සමග එල්එන්ජී විදුලි බලාගාර ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධව අප සාකච්ඡා කර තිබෙනවා.
මේ මූලික අඩිතාලමයි. ඒ හරහා පෞද්ගලික ආයෝජන ලබාගැනීම සිදුකරනවා. මෙම වැඩකටයුතු සදහා එන වසරේදී අඩුම වශයෙන් තවත් ඩොලර් මිලයන 2ක් හෝ 3ක් ලබාගැනීමටයි අප උත්සාහ කරන්නේ. හම්බන්තොට වරායේ පාලන කටයුතු සහ ආරක්ෂාව තිබෙන්නේ ශ්‍රී ලංකාව යටතේයි. එහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවයි. ගිවිසුම් අත්සන් කරන්නේ සිවිල් සහ නාවුක, වාණිජ කටයුතු  සදහා පමණයි. අපට අවශ්‍ය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමටයි. එමනිසා 2020, 2025 වන විට අප මෙම මාර්ගයේ ගමන් කරනවා නම් ණය ගෙවීම විශාල බරක් වන්නේ නැහැ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ හා වැඩබලන සභාපති ෆුර්සාවා මහතා ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු ශක්තිමත් බව පවසා තිබෙනවා. මූල්‍ය සමබරතාව හා බදු ආදායම් ඉලක්ක අප සපුරා ඇති බවත් බදු කළමණාකරණය සහ බලශක්ති මිල නියම කිරීම ඇතුළු වැඩකටයුතු ගණනාවක් අප සිදුකරමින් පවතින බවත් ඔහු පවසා තිබෙනවා. එමනිසා ශ්‍රී ලංකාවේ නවීකරණය, තරුණ තරුණියන්ට අවශ්‍ය සංවර්ධනය අප ආරම්භ කර තිබෙන බව පැහැදිලියි.
අපට හිඟන ජාතියක්, ණය ලබාගන්නා ජාතියක් බවට පත් වීමට නොහැකියි. ආසියාවේ දෙවෙනි විවෘත ආර්ථික විප්ලවය ශ්‍රී ලංකාව ආරම්භ කළේ 1977දීයි.  චීනය, ඉන්දියාව ආදි රටවල් විවෘත ආර්ථිකය ආරම්භ කළේ ඉන් පසුවයි. නමුත් වර්තමානය වන විට රටවල් කිහිපයක් අපව පසු කරගෙන ගොස් තිබෙනවා. අපට යුද්ධයකට මුහුණ දීමට සිදුව තිබුණා. ඒ වෙනුවෙන් දුක් විදීමට, කැපවීමට ජනතාවට සිදුවුණා. එම ජනතාව වෙනුවෙන් අප දැන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුත්ත සිදුකළ යුතුයි.
හැම විටම ආර්ථිකය පිළිබද සුබදායි පණිවිඩ ජාතියට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය ස්ථාවර කිරීමටයි අපට වසර දෙකක් ගතවුණේ. මඩ වගුරක් ලෙස ලැබුණු රට ශුද්ධ පවිත්‍ර කිරීමට අපට සිදුවුණා. මඩ වගුරේ ජීවත් වූ ගෙම්බන්, සර්පයන් පිටතට පෙනෙන්නේ නැහැ. නමුත් එය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසුව නිර්මාණය කරන අලංකාර ගොඩනැගිල්ල ජනතාවට පෙනෙනවා. මේ වසරේ ආර්ථික වර්ධන වේගය 4.5%ත් 5%ත් අතර බලාපොරොත්තු වන බව මහබැංකුවේ අධිපතිතුමා මා සමග පැවසුවා. එය 5% බවට පත්කර ගැනීමට හැකිවේ යැයි මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දැන් ශක්තිමත් නිසා එය බලාපොරොත්තු විය හැකි නමුත් අප මුහුණ දුන් උවදුරු නිසා ආර්ථිකය බිද වැටීමට ඉඩ තිබුණා. එය සිදුවීමට අප ඉඩ දුන්නේ නැහැ.
2015, 2016 කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව අසීරු තීරණවලට එළඹුණා. පොරොන්දු වූ ආර්ථික වර්ධනය, රටේ සංවර්ධනය පිළිබදව සුළු පිරිසක් ප්‍රශ්න නැගුවා. පාර්ලිමේන්තුවේදීත් මට එය අසන්නට ලැබුණා. නමුත් අප  එය සිදුකර අවසන්. එහි අඩිතාලම අප ගොඩනගා අවසන් කර තිබෙනවා. එමනිසා මෙම ජාතික ආණ්ඩුව රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට සූදානම් වෙනවා. අපට රට පිළිබදව නිසි දැක්මක් තිබෙනවා. එම දැක්ම විනාශ වී නැහැ. ප්‍රධාන පක්ෂ දෙක එකතුවී පාර්ලිමේන්තුවත් ආණ්ඩුවට සම්බන්ධ කරගනිමින් රට වෙනුවෙන් අප ශක්තිමත් නායකත්වයක් ලබාදෙනවා. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.  “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *