උමාලි – සාරංග කතාබහ සැරින් සැරේට කරළියට එනවා.
මේ කතාව ගැන සාරංගත් උමාලිත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළත් පොඩි පොඩි කතා දෙන්නම් අවස්ථා ගණනාවකදී කියලා තිබුණා.
කිසිම දෙයක් ගැන හරියට මේ දෙන්නා කතා නොකළත් පසුගිය දවසක සාරංග කියලා තිබුණේ මේ වෙනකොටත් නීතිමය වශයෙන් වෙන්වීමට මේ වනවිටත් කටයුතු සිදුවෙනවා කියලයි.
ඒ අස්සේ උමාලි කියපු කතාවක් ගැන අපිට අහන්න ලැබුණා.
ඇය සිය සමීපතම මිතුරියකට පවසා තිබෙන්නේ ” එකට ජීවත් වෙන්න බැරි වුණත් අපි අතර තරහක් නෑ. සමහර වෙලාවට කාලයක් යනවා අපිට එකට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න. මට සාරංගවත් සාරංගට මාවවත් තේරුම් යන්න පරක්කු වෙන්න ඇති.. එහෙමයි කියලා අපේ ජීවිත කඩාවැටෙන්නේ නෑ.. සාරංග නැතත් මම මගේ ජීවිතේ හදාගන්නවා.. එයත් ජීවිතේ හදාගනී. මිනිස්සු එක එක කතා කියනවා. ඒත් අපේ හිත් දන්නවා ඇත්ත නැත්ත. වැරදි කා අතිනුත් වෙනවා.”
යනුවෙන්.

 

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

මේ අතර හිටපු විදෙස් ලේකම් වන ඇසළ විරකෝන් සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මෙරට තානාපති සේවයේ නිරතව සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වේ.

ඓතිහාසික දීඝවාපි චෛත්‍යය ප්‍රමිතියකින් තොර බාල ගඩොල් යොදාගෙන වසර 2014දී ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කිරීමේ ජාතික අපරාධයක සුලමුල සොයාගත් ජනාධිපති පරීක්ෂණ කොමිසම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ නිලධාරීන් පස් දෙනකුට අගෝස්තු 3 වැනිදා කොමිසම හමුවේ කරුණු දක්වන ලෙසට නියම කැර තිබේ.

රජයේ මුදල් රුපියල් ලක්ෂ හැටක් හිතුමතේම වැය කැර මිලදී ගෙන තිබෙන බාල ගඩොල් කැට තුන්ලක්ෂ හැත්තදහසක් පමණ දීඝවාපි පූජා භූමියේ තවමත් ගොඩගැසී තිබෙනු දකින්නට ලැබෙන බව රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා කොමිසම ඉදිරියේ පැමිණිල්ලේ දේශනය සිදු කරමින් පැවසීය.

පොලිස් පරීක්ෂක රූපසිංහ මහතා මේ සම්බන්ධව විමර්ශන පවත්වා සැබෑ තත්ත්වය සාක්කි සමග හෙළි කැරගෙන තිබෙන බවත් අධිනීතිඥ කරුණාතිලක මහතා ප්‍රකාශ කෙළේය.

මෙම බාල ගඩොල් මිලදීගෙන තිබෙන්නේ විශ්‍රාමික හමුදා මේජර්වරයකුගෙන් බවත් ප්‍රසම්පාදන නීති උල්ලංඝණය කරමින් මිලදී ගැනීම සිදු කැර තිබේ.

මෙම ගඩොල් භාවිතා කරමින් චෛත්‍ය පිළිසකර කළා නම් එහි පැවැත්මට බලවත් තර්ජනයක් ඇතිවන බවටත් විමර්ශනවලදී සොයාගෙන තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතීත්වයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, විශ්‍රාමික විගණකාධිපති පී. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අධිනීතිඥ කරුණාතිලක මහතා පැමිණිල්ලේ දේශනය පවත්වමින් මේ බව ප්‍රකාශ කෙළේය.

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙනරත් දිසානායක, හිටපු ප්‍රධාන ගණකාධිකාරි මහින්ද ලක්ෂ්මන්, ගණකාධිකාරි අබේරත්න, අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරුන් වන සුමනදාස සහ විරාජ් බාලසුරිය සහ විශ්‍රාමික හමුදා මේජර් බිමල් පෙරේරා යන මහත්වරුන්ට මේ පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්විය යුතු පාර්ශ්වකරුවන් වෙති.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (29) වීදී සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය,කොළඹ වීදිය, යටිනුවර වීදිය,රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍යය සියලු කටයුතු සම්පාදනය කැර තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

අධිකරණය මඟින් මහනුවර ඇසළ පෙරහර සඳහා අලි ඇතුන් නිදහස් කිරීම හේතුවෙන් මෙවර ඇසළ පෙරහරේ අලි ඇතුන් ගැටලුව තාවකාලිකව විසඳුණු බවත් අලි ඇතුන් 60-70 අතර සංඛ්‍යාවක් මෙවර පෙරහැරේ ගමන් ගන්නා බවත් ඒ මහතා කීය.

කතරගම වාසනා හා නඳුන් ගමුවේ රාජා නොමැති වුවත් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා ඇතුළු ඇතුන් පස් දෙනකු මතින් මාරුවෙන් මාරුවට සධාතුක කරඬුව වැඩම කරවන බවද දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කෙළේය.

මෙවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද (29) ප්‍රථම කුඹල් පෙරහැරේ සිට අගෝස්තු 8 දින දවල් පෙරහර දක්වා කාලය තුළ මහනුවර සිට අලදෙණිය,කුණ්ඩසාලේ,පේරාදෙණිය,මඩවල,අඹතැන්න දක්වා සියලු මත්පැන් අළෙවි සල් වසා තිබෙන බව මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමීණී අධිකාරී මහතා පවසයි.

මෙවර මහනුවර ඇසළ පෙරහර නැරඹීමට එන ජනතාව හැසිරවීමට හා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් නිලධාරීන් 4000 ක පමණ පිරිසක් යොදවා තිබෙන බව මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති මහින්ද ඒකනායක මහතා කීය.

ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් නෞකාවක් උතුරු සයිප්‍රසයේදී එරට බලධාරීන් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 20 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙනි.

සී ස්ටාර් නමැති අදාළ නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට ලිබියානු වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් එම නෞකාව සයිප්‍රසය වෙත යාත්‍රා කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ජිබුටි රාජ්‍යයෙන් නෞකාවට ගොඩ වී ඇති අතර නෞකාවෙන් ඊජිප්තුවට ගොස් ඊජිප්තුවේ සිට ගුවනින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන්ගේ අරමුණ වී තිබේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස අතරින් 05 දෙනෙකු පවසා ඇත්තේ, තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව ය.

තමන් නාවිකයින් නොවන බව ත් ඉතාලිය බලා යාම සඳහා යුරෝ 16000 බැගින් නෞකාවට ගෙවූ බව ත් ඔවුන් සඳහන් කර තිබේ.

වයිනේ සියලුම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන වැඩසටහන  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
ඊයේ,(28) අද (29) සහ හෙට (30) යන තෙදින තුළ ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් දිවයිනේ සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව, පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වය ද ඇතිව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගනිමින් මෙම වැඩසටහන සියලු පාසල් තුළ ක්‍රියාත්මක කර තිබේ. ඊට අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීම මත ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වයද ලබා දී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා නිරන්තරයෙන් තම අවට පරිසරය පවිත්‍රව තබාගැනීම සඳහා කටයුතු කිරීම පාසල් දරුවන් ඇතුලු සියලු පුරවැසියන්ගේ ජීවන පුරුද්දක් වශයෙන් පැවතිය යුත්තක් බව අවධාරණය කළේය.
පාසල්වල ජලය රැඳෙන ස්ථාන පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මැසි මදුරුවන් බෝ නොවීම සඳහාත් පාසල් පරිශ්‍ර පරිසර හිතකාමී ප්‍රියජනක ස්ථාන ලෙස සකස් කිරීමටත් විශේෂ වැඩසටහනක් අරඹා ඇති බවද සිහිපත් කළේය.
ඒ අනුව ප්‍රදේශයේ පවතින භූ විෂමතාවයන්ද සැලකිල්ලට ගනිමින් ප්‍රධාන සැලසුමකට (Master plan) අනුව සියලු ඉදිකිරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මීට සමගාමීව පාසල් නිවාඩු කාළයේ සෑම ඉරිදා දිනකදී ම පාසල් පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසටද නිලධාරීන්ට දැනුම් දී ඇති අතර තෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට පෙර දිනයේ ද විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් සිදුවන්නේ ආර්ථිකය සංවර්ධනය වීම නොව ආපස්සට යාමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. පසුගිය දා පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2017 හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ආර්ථික සංවර්ධනයට බාධාවක් වී ඇති ආයෝජන මණ්ඩලට වසා දැමිය යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

“අපගේ නෛතික තත්ත්වය හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී තමයි ගැටළු පවතින්නේ. ලංකා ආයෝජන මණ්ඩලය ස්ථාපිත කළේ අපගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහාය වීමට. නමුත් දැන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත.“

“නීත්‍යානුකූල ලෙස තම ව්‍යාපාර කරගෙන යාමට සූදානම් බොහෝ අපගේ ව්‍යාපාරිකයින්ට අයෝජන මණ්ඩලයෙන් නිරන්තරයෙන් බාධා එල්ල වෙනවා. මෙය ලංකාවේ ආර්ථික සංවර්ධනයට බාධාවක්. එය වසා දමන්න යෝජනවා කරනවා.“

සාර්ක් කළාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සඳහා පුර්ණ නායකත්වය සැපයීමට ශ්‍රී ලංකාව සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී ඊයේ (29) ආරම්භ කෙරුනු 06 වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දකුණු ආසියානු රටවල් මුහුණ දී ඇති ගැටළු රැසක් පවතින අතර ඒ පිළිබඳව පසුගිය දෙදින පැවැත් වූ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ දී ද අවධානය යොමු කරමින් අනාගත විසඳුම් යෝජනා කළ බවත්,  දකුණු ආසියානු රටවල බිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන අතර, ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශය ජනගහනය වැඩි රටවල් අතර ප්‍රමුඛස්ථානය උසුලන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ මහතා ප්‍ර‍කාශ කළේ බෝනොවන රෝග, මන්දපෝෂණය, ක්ෂය රෝගය, අප රටවල් මුහුණ දී ඇති ගැටළු වන අතර ජනගහනයෙන් සියයට 32ක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර වාර්ෂිකව මිලියන 3.1 ක් එම රෝගයට ගොදුරුව පීඩා විදින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ මැලේරියාව තුරන් කළ රටවල් ලෙස ශ්‍රී ලංකාව හා මාලදිවයින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන නමුත් සංක්‍රමණිකයින් හේතුවෙන් විවිධ රෝගාබාධවලට අප කලාපීය ජනතාව ගොදුරුවන බව කිව යුතුයි. දකුණු ආසියානු කළාපයේ දිශානතිය නව මානයකට යොමු කරමින් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි. කළාපයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලමින් කාන්තා අයිතීන් සුරැකිය යුතුයි. බෝවන රෝග අඩු වුව ද, බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරීමට රටවල් පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව මේ සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, ඊට නායකත්වය සපයමින් බෝනොවන රෝග අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත්කර ඇත. එය අප සතු ශක්තියකි. රටවල් මුහුණ  දී ඇති අභියෝග, බාධක, හඳුනාගනිමින් මෙවර සමුළුවේදී ජනතාවගේ සෞඛ්‍ය සේවා නංවාලීම සඳහා වැදගත් තීන්දු තීරණ ගත යුතු බව ද අමාත්‍යරයා පෙන්වා දුන්නේය.
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කම්කරු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
වරාය සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙහි අරමුණ බව සඳහන්ය.
එම ලිපි පහත පරිදි වෙයි,
2017.07.28
ගරු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා
කම්කරු, වෘත්තිය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය,
කම්කරු, වෘත්තිය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශය,
නාරාහේන්පිට,
කොළඹ 05.
ගරු අමාත්‍යතුමනි,
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙනි
උක්ත වරාය විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව, පාර්ලිමේන්තුවද දැනුවත් කිරීමකින් තොරව, අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා නොකොට, චීන සමාගමකට විකිණීමට කඩිමුඩියේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා ගරු අගමැතිතුමා විසින් කටයුතු කරගෙන යන බව මාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණි.
මාගම්පුර වරාය සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ඍජුව මැදිහන් වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර, මා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත යවනු ලැබූ ලිපියෙහි පිටපතක් මේ සමඟ අමුණා ඇත.
මෙයට හිතවත්,
නාමල් රාජපක්ෂ
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
——————–
2017.07.28
කම්කරු කොමසාරිස් ජනරාල්
කම්කරු මහලේකම් කාර්යාලය,
නාරාහේන්පිට,
කොළඹ 05.
කොමසාරිස් ජනරාල්තුමනි,
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙනි
උක්ත වරාය විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව, පාර්ලිමේන්තුවෙහි විවාද කිරීමකින් තොරව, අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා නොකොට, චීන සමාගමකට විකිණීමට කඩිමුඩියේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා ගරු අගමැතිතුමා විසින් කටයුතු කරගෙන යන බව මාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණි.
නිසි නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව ඔබගේ අනුමැතියක්ද නොමැතිව ඉහත කී ක්‍රියාව නිසා දැනට එම වරායේ සේවය කරන සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැනනැගී ඇති බැවින්, 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ අංක 2 වගන්තිය යටතේ කම්කරු කොමසාරිස්වරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍යව ඇත.
එසේ හෙයින් මෙය ජාතික වැදගත්කමකින් යුත් කාරණයක් සේ සලකා ඔබතුමාගේ ඍජු මැදිහත්වීම අපේක්ෂා කරමි.
මෙයට,
නාමල් රාජපක්ෂ
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මේ වසරේ ඇතිවූ නියඟය, ජල ගැල්ම ආදිය හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් ඇතිවේ යැයි බියක් මතුව තිබුණද, ආර්ථික වර්ධන වේගයේ අඩුවීමක් නොමැති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ, මහබැංකු සංකීර්ණයේ පිහිටි John Exter ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) දින විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ මේ වසරේ ඇතිවූ නියඟය, ජල ගැල්ම ආදිය හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් ඇතිවේ යැයි බියක් මතුව තිබුණා. ඒවගේම ආර්ථික වර්ධන වේගය අවප්‍රමාණ වේයැයි ද බියක් මතුව තිබුණා. නමුත් ආර්ථික වර්ධන වේගයේ අඩුවීමක් නොමැති බව දැන් පැවසිය හැකියි.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පහසුකම් සපයන වැඩසටහන යටතේ “ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සමස්ථයක් ලෙස සතුටුදායක යැයි ද, දැඩි කාලගුණික විපර්යාසයන් හා ගෝලීය වෙළෙඳ පොලේ විචල්‍යතා තිබියදීත් සර්ව ආර්ථික හා මූල්‍යමය තත්වය ස්ථාවරව පවතියි” ලෙස ද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජුනි මස ප්‍රකාශනයේ සදහන් වෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත්, මහබැංකුවත්, භාණ්ඩාගාරයත්, මුදල් අමාත්‍යාංශයත් මෙම කරුණු සනාථ කරනවා. ජල ගැල්ම නියඟය ආදී ගැටළු සදහා අප මුහුණ නොදුන්නා නම් ආර්ථික වර්ධන වේගය තවත් වැඩිවීමට ඉඩ තිබුණා. නමුත් එම ගැටළු සඳහා මුහුණ දී තිබියදීත් අපගේ මූලික ආර්ථික වර්ධන වේගයේ ආඩාල වීමක් සිදුවුනේ නැහැ. ගිය වසරට හා සමානවම හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් මෙම වසරේ ආර්ථික වර්ධන වේගය රදා පවතී යැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 501.5 මුදලේ දෙවන කොටස වන රුපියල් මිලියන 167.1ක් මුදා හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. අපගේ මුල්‍ය කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන නිසා ඔවුන් එම මුදල ශ්‍රී ලංකාවට ලබා දෙනවා.
අයවැය හිඟය අඩුකිරීම, විදේශ විනිමය සංචිත ඉහල නැංවීම, සරල බදු ක්‍රම හඳුන්වාදීම ආදී ක්‍රමවේද ඔස්සේ සර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට සහ වර්ධන වේගය ඉහල නැංවීමට අප ගෙන යන ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැලකිල්ලට ගනු ලැබුවා.  රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය පියවර ගණනාවක් මේ වන විට අප අනුගමනය කරනවා. අද අපට අවශ්‍යව ඇත්තේ සංවර්ධන ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථික වර්ධන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමයි. ආර්ථිකය වර්ධනය කිරීමේ කාර්යයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවයක් අපට නැහැ. රටේ ආර්ථිකය ක්‍රමානුකූලව 6% දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා.
අපේ සංවර්ධන උපාය මාර්ගයන්හි වෙළදාම, සෘජු විදේශ ආයෝජන, විදේශ විනිමය ආදිය වර්ධනය කිරීමට සහ පුද්ගලික අංශය තව තවත් දියුණු කරමින් ඔවුන් රටේ ආර්ථික සංවර්ධනයට වැඩි වශයෙන් දායක කරගනිමින් රජයේ ආදායම් වැඩිකර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට 2020 වන විට රටේ ආදායම් වියදම් පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% සීමා කරන්නට අපට හැකිවෙනවා. රටක් ලෙස අප දැන් ගමන් කරන්නේ විපර්යාසයකට ලක්වු මාර්ගයකයි. වැඩි පොළියට ණය ගනිමින් එම මුදල් හරහා යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවට දේශීය හා විදේශීය පුද්ගලික ආයෝජනයන් ලබා ගනිමින් රටේ කර්මාන්ත, සේවා, කෘෂිකර්මය දියුණු කර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමයි අප සිදු කරමින් සිටින්නේ.
ජීඑස්පී ප්ලස් බඳු සහනය ලබාගැනීමට අපට හැකියාව ලැබුණු බව මෙහිදි විශේෂයෙන් සදහන් කළ යුතුයි. ඒ අනුව ඇඟළුම් ක්ෂේත්‍රය පමණක් නොව නිෂ්පාදන භාණ්ඩ හයදහසක් යුරෝපා වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව ජීඑස්පී ප්ලස් බදු සහනය හරහා අපට ලැබී තිබෙනවා. නිෂ්පාදන හයදහසක් නොව නිෂ්පාදන සියයක්, එකසිය පනහක් පමණවත් යුරෝපීය වෙළෙඳ පොළට ඇතුළු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් මම අපේ පෞද්ගලික ව්‍යාපාරික අංශයට කියන්න කැමතියි. ඒවගේම ජීඑස්පී ප්ලස් බදු සහනය ලබන සියළුම රටවල් සදහා තීරු බදු සහිතව ගමනා ගමන ක්ෂේත්‍රයට අවශ්‍ය වන නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කළ හැකි බව ඔවුන් පවසා තිබෙනවා. සරලව පවසනවා නම් ගමනා ගමනයේදී භාවිත කරන ඇසුරුම් මලූ, පාවහන් ආදී නිෂ්පාදන ඔවුන්ට අපනයනය කිරීමේ හැකියාව දැන් අපට ලැබී තිබෙනවා. ඇඟළුම්, පාවහන් ආදිය සැලකෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොලේ  විශාලතම අපනයන භාණ්ඩ ලෙසයි.
ඒවගේම අප රටවල් ගණනාවක් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන්නේ මෙරටේ ආර්ථික වර්ධන වේගය තවත් වේගවත් කිරීම සදහායි. මෙය එක් වසරකින් හෝ දෙකකින් සිදු වන්නේ නැහැ. ඒ සඳහා වසර දහයක් පහළොවක් වැනි කාලයක් ගතවෙනවා. ඒවගේම අපගේ සියළුම ව්‍යාපාරයන් තරඟකාරී ව්‍යාපාරයන් බවට පත්කළ යුතුයි. කර්මාන්තශාලාවල ඇතැම් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොල ඉලක්ක කර නිෂ්පාදනය කළත් එය ජාත්‍යන්තර මිලට අනුව අලෙවි කළ යුතුයි. ඒ හරහා තරඟකාරී වෙළෙද පොලක් ඇතිකිරීමට හැකියාව ලැබෙනවා. සියලූ දෙනා තරඟකාරී, අපනයන වෙළෙඳ පොලට ඇතුලත් වීමට උත්සාහ දරනවා නම් මේ ණය උගුලෙන් බේරි රටක් ලෙස ඉදිරියට යාමේ හැකියාව අපට ලැබෙනවා.
සෘජු විදේශ ආයෝජන වැඩිකිරීමේ සැලසුම් යටතේ අප විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ නව වැඩසටහන් ගණනාවක් ආරම්භ කිරීමටයි. හම්බන්තොට වරාය පිළිබද ගිවිසුමට අප හෙට අත්සන් තබනවා. හම්බන්තොට වරාය පිළිබද ගිවිසුම අද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විපක්ෂයට අවශ්‍ය නම් ඒ පිළිබද විවාදයකට එළඹිමේ හැකියාව තිබුණා. නමුත් සාමාන්‍යයෙන් ඔවුන් සිදු කරන පරිදි එම අවස්ථාවේදී විශාල ශබ්ද සහ ඝෝෂා ඇති කරමින් ඔවුන් එම විවාදය අත්හැරියා. එදා ඔවුන් පැවසූ ක්‍රමවේදයට වඩා හොඳ ක්‍රමවේදයක් හරහා අප ඉදිරිපත් කර තිබෙන හම්බන්තොට දියුණු කිරීමේ වැඩපිළිවෙලට විරුද්ධ වන්නේ කෙසේදැයි ඔවුන්ට දැන් ගැටළුවක් ඇති.
මෙම ගිවිසුම හේතුවෙන් මෙම වසරේ සහ එළඹෙන වසර තුල ඩොලර් බිලියන 1.1 ක් අපට ලැබෙනවා. ඩොලර් බිලියන 1.1 ලැබුණු පසු විදේශ ණය ප්‍රමාණය අඩු කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා. ඒවගේම 2011 වසරේ සිට හම්බන්තොට වරාය හේතුවෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදු වුණා. එම අහිමි වූ බිලියන 46න් මිලියන දෙකහමාරක ජනගහනයට නොමිලේ සෞඛ්‍ය සේවාව සැපයීමේ හැකියාව තිබුණා. එම මුදල අධ්‍යාපන ක්ෂේත්‍රයට යෙදෙව්වා නම් අයවැයේදී අධ්‍යාපනයට ලබාදෙන මුදල 60% වැඩිකිරීමේ හැකියාව තිබුණා. හම්බන්තොටින් සිදුවූ පාඩුව එයයි.
මත්තල ගුවන්තොටුපල හේතුවෙන් තවමත් අප පාඩු ලබනවා. නමුත් මේ වසර අවසන් වන විට මත්තල ගුවන්තොටුපලත් ගිවිසුමක් හරහා හම්බන්තොට වරාය මෙන් දියුණු කිරීමට ක්‍රියාකරන බව මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. නමුත් සූරිය වැව ක්‍රිඩාංගනයට ගත් ණය සදහා නිකරුනේ මුදල් ගෙවීමට අපට සිදුවනවා. එය දියුණු කරන්නේ කෙසේදැයි සිතා ගැනීමටවත් අපට බැහැ. නමුත් අනෙක් සියලූ ව්‍යාපෘති දියුණු කිරීමට අප දැන් කටයුතු කරමින් සිටිනවා.
රටේ විශාල දියුණුවක් සදහා වන සංවර්ධන වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.  උඩරට ආර්ථික කලාපයේ වැඩකටයුතු මහනුවරින් ආරම්භ කර ඒ අවට ප්‍රදේශය දියුණු කරමින්, වයඹ සංවර්ධන සැලැස්ම, බස්නාහිර සංවර්ධන සහ මෙගා පොලිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින්, ගාල්ල, මාතර මුහුදබඩ තීරුව සංවර්ධනය කරමින්, සංචාරකයන් සදහා කලාපයක් වෙන් කරමින් මාතර සිට හම්බන්තොට, මොණරාගල දක්වා කර්මාන්තකරණයකට ලක්කරමින් රට දියුණු කිරීමේ වැඩ කටයුත්ත අප සිදු කරනවා.
ලංකාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීමට ද නියමිතයි. පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද , මල්වතු ඔය ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. එමෙන්ම ත්‍රිකුණාමල සංවර්ධන සැලැසුම සකස් කරමින් පවතිනවා. අද පස්වරුවේ මඩකලපුවේ කෘෂිකර්ම හා සංචාරක දියුණුව පිළිබද සාකච්ඡා කිරීමට මම ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙනවා. යාපනය ප්‍රදේශයේ දියුණුවට අවශ්‍ය වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විට අප අවසන් කරමින් තිබෙනවා. සබරගමුව, නුවරඑළිය, බදුල්ල මේ සියළු ප්‍රදේශ වෙත අවධානය යොමු කරමින් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.
ඒවගේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ  කෙටි කාලීන වැඩසටහන් ආරම්භ කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නවීකරණයක් ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි. මේ රටේ තරුණ තරුණියන්ට මීට වඩා  හොද ආර්ථිකයක් ඇතිකළ යුතුයි. හම්බන්තොට වරාය සම්බන්ධ නව ගිවිසුම යටතේ වරාය සංවර්ධන අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් එකට එක්ව කටයුතු කරනවා. එන වසරේදී තවත් ඩොලර් මිලියන 300ක් 400ක් අතර ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමටත් ඔවුන් සුදානම්. ඒවගේම හම්බන්තොට කර්මාන්තකරණය සදහා අවශ්‍ය නව ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබෙනවා. ඉන්දියාව සහ ජපානය සමග එල්එන්ජී විදුලි බලාගාර ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධව අප සාකච්ඡා කර තිබෙනවා.
මේ මූලික අඩිතාලමයි. ඒ හරහා පෞද්ගලික ආයෝජන ලබාගැනීම සිදුකරනවා. මෙම වැඩකටයුතු සදහා එන වසරේදී අඩුම වශයෙන් තවත් ඩොලර් මිලයන 2ක් හෝ 3ක් ලබාගැනීමටයි අප උත්සාහ කරන්නේ. හම්බන්තොට වරායේ පාලන කටයුතු සහ ආරක්ෂාව තිබෙන්නේ ශ්‍රී ලංකාව යටතේයි. එහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවයි. ගිවිසුම් අත්සන් කරන්නේ සිවිල් සහ නාවුක, වාණිජ කටයුතු  සදහා පමණයි. අපට අවශ්‍ය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමටයි. එමනිසා 2020, 2025 වන විට අප මෙම මාර්ගයේ ගමන් කරනවා නම් ණය ගෙවීම විශාල බරක් වන්නේ නැහැ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ හා වැඩබලන සභාපති ෆුර්සාවා මහතා ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු ශක්තිමත් බව පවසා තිබෙනවා. මූල්‍ය සමබරතාව හා බදු ආදායම් ඉලක්ක අප සපුරා ඇති බවත් බදු කළමණාකරණය සහ බලශක්ති මිල නියම කිරීම ඇතුළු වැඩකටයුතු ගණනාවක් අප සිදුකරමින් පවතින බවත් ඔහු පවසා තිබෙනවා. එමනිසා ශ්‍රී ලංකාවේ නවීකරණය, තරුණ තරුණියන්ට අවශ්‍ය සංවර්ධනය අප ආරම්භ කර තිබෙන බව පැහැදිලියි.
අපට හිඟන ජාතියක්, ණය ලබාගන්නා ජාතියක් බවට පත් වීමට නොහැකියි. ආසියාවේ දෙවෙනි විවෘත ආර්ථික විප්ලවය ශ්‍රී ලංකාව ආරම්භ කළේ 1977දීයි.  චීනය, ඉන්දියාව ආදි රටවල් විවෘත ආර්ථිකය ආරම්භ කළේ ඉන් පසුවයි. නමුත් වර්තමානය වන විට රටවල් කිහිපයක් අපව පසු කරගෙන ගොස් තිබෙනවා. අපට යුද්ධයකට මුහුණ දීමට සිදුව තිබුණා. ඒ වෙනුවෙන් දුක් විදීමට, කැපවීමට ජනතාවට සිදුවුණා. එම ජනතාව වෙනුවෙන් අප දැන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුත්ත සිදුකළ යුතුයි.
හැම විටම ආර්ථිකය පිළිබද සුබදායි පණිවිඩ ජාතියට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය ස්ථාවර කිරීමටයි අපට වසර දෙකක් ගතවුණේ. මඩ වගුරක් ලෙස ලැබුණු රට ශුද්ධ පවිත්‍ර කිරීමට අපට සිදුවුණා. මඩ වගුරේ ජීවත් වූ ගෙම්බන්, සර්පයන් පිටතට පෙනෙන්නේ නැහැ. නමුත් එය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසුව නිර්මාණය කරන අලංකාර ගොඩනැගිල්ල ජනතාවට පෙනෙනවා. මේ වසරේ ආර්ථික වර්ධන වේගය 4.5%ත් 5%ත් අතර බලාපොරොත්තු වන බව මහබැංකුවේ අධිපතිතුමා මා සමග පැවසුවා. එය 5% බවට පත්කර ගැනීමට හැකිවේ යැයි මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දැන් ශක්තිමත් නිසා එය බලාපොරොත්තු විය හැකි නමුත් අප මුහුණ දුන් උවදුරු නිසා ආර්ථිකය බිද වැටීමට ඉඩ තිබුණා. එය සිදුවීමට අප ඉඩ දුන්නේ නැහැ.
2015, 2016 කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව අසීරු තීරණවලට එළඹුණා. පොරොන්දු වූ ආර්ථික වර්ධනය, රටේ සංවර්ධනය පිළිබදව සුළු පිරිසක් ප්‍රශ්න නැගුවා. පාර්ලිමේන්තුවේදීත් මට එය අසන්නට ලැබුණා. නමුත් අප  එය සිදුකර අවසන්. එහි අඩිතාලම අප ගොඩනගා අවසන් කර තිබෙනවා. එමනිසා මෙම ජාතික ආණ්ඩුව රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට සූදානම් වෙනවා. අපට රට පිළිබදව නිසි දැක්මක් තිබෙනවා. එම දැක්ම විනාශ වී නැහැ. ප්‍රධාන පක්ෂ දෙක එකතුවී පාර්ලිමේන්තුවත් ආණ්ඩුවට සම්බන්ධ කරගනිමින් රට වෙනුවෙන් අප ශක්තිමත් නායකත්වයක් ලබාදෙනවා. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.  “